
සිංහලයෝ! සුද්දෝ පොදුවේ අප හැඳින්වූයේ එලෙසය. සුද්දෝ ලංකාවට ගොඩබැස්සේ මීයක් කඩා අත ලෙවකන්නට නොවේ. ඔව්හු පොදි පිටින් අපේ සකල සබ්බමනාව ම සූරා ගත්තෝ ලොව ප්‍රබල ම ධනවත්තු වූහ. අපි අදටත් ඔවුන්ගේ ණයකාරයෝ වෙමින් අනාගතය ද ඔවුන්ට ම උකස් තබමින් සිටිමු.
කෙසේ වුවද නොමැකෙන පියසටහන් මේ තබන්නට යන්නේ ඔවුන් අප සූරා කෑ අන්දම ගැන නොවේ. ඇතැම් සුද්දෙක් හෝ විජාතිකයෙක් මෙරට පැමිණියේ අප සූරා කන අදහසින් ම නොවේ. ඇතැමෙක් වශීකෘත සිංහලය ගැන අසා තිබූ රසාලිප්ත කතන්දර හේතු කොට ගෙන මෙහි ආවෝ ඒ සුන්දරත්වය දෑසින් ම විඳීමේ චේතනාවෙනි. තවකෙක් වැරදීමකින් මෙහේ විත් සිරකරුවෝ බවට පත්වූහ. තවත් ඇතැමෙක්, සූරා කන්නෙක් හෝ ඔහුගේ නියෝජිතයෙක් වූහ. තවකකු ලංකාවට පැමිණියේ විවිධ පර්යේෂණ පිණිසය.
මේ විවිධ පරමාර්ථ ඔස්සේ දිවයින බලා පැමිණියෝ විවිධ සටහන් තැබූහ. ඒ සටහන් හදාරන විටය, ඔවුන්, සිංහලයන් තමන් දුටු අන්දම ගැන වයිවාරන්න කතා සටහන් කර ඇති බව පෙනෙනුයේ.
අප සූරාකන්නටම පැමිණි සුද්දෝ නිදැල්ලේ සිය කටයුතු කරගත් අතරේ, අහම්බෙන් ආ සුද්දකුට ඒවායෙහි පව් කර ගසන්නට සිදුවිය. රොබට් නොක්ස් එවැන්නෙකි. වර්ෂ 1660 දීය, ඔහු දෙවන රාජසිංහ රජුගේ සිරකරුවකු බවට පත්වූයේ. වසර දහනවයක හා මාස හයක කාලයක් මෙරට සිරකරුවකු ලෙස සිටි නොක්ස්, ආපසු සිය රට බලා යාමේදී නැවේ සිට ලේඛනගත කළේ, සිංහලයෝ ගැනය; සිංහලය ගැනය.
වසර සිය ගණනකට පෙර ඔහු අප ගැන තැබූ සටහන් සැබෑ ලෙස ම වටින්නේ ලොවට වඩා අපට ම ය. නොක්ස් සිංහලයා ගැන තබන අපූරු සටහන් අපූරු චිත්ත රූප මැවීමට සමත් ය.
එමෙන්ම සිංහලයෝ ගැන ඔහු තබන ඇතැම් සටහනක් අදටත් අපූරුවට වලංගු වන්නේය. කෙසේ වෙතත් නොක්ස් මෙරට වැසියන් ගැන කතා කරන්නට යන්නේ ඔවුන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කරගෙන ය.
”මේ ජාතිය වූ කලී වනචාරී මනුෂ්‍යයෝ ශීලාචාර මනුෂ්‍යයෝ යැයි කොටස් දෙකකට බෙදෙති” (එදා හෙළදිව - පරිවර්තනය ඩේවිඩ් කරුණාරත්න)
යනුවෙන් පටන් ගෙන ඇති නොක්ස් වනචාරීන් ලෙස හඳුන්වන්නේ වැද්දන් ය. ශීලාචාර මනුස්සයන් ලෙස ඔහු හැඳින්වූයේ පොදුවේ සෙසු සිංහල වැසියන් ය. තමා ජීවත් වූයේ ශීලාචාර කොටස සමඟ යැයි නොක්ස් පවසයි. වැද්දන් ගැන ලියන නොක්ස්, සිංහලයන් ගැන ලිවීම අරඹන්නේ මෙලෙසය.
”වැද්දන් ගැන කියා දැන් සිංහලයන් ගැන ලියමි. ලියන්නට සිතූ පමණින් ම, සිතට ප්‍රීතිය ගෙන දෙයි. ඉන්දියාවේ දී මට දකින්නට ලැබුණු හැම මිනිස් සංහතියටම වඩා මේ සිහලයෝ ඉතා කරුණාවන්ත මනුෂ්‍ය කොට්ඨාසයකි.”
ඊළඟට ඔහු පවසන්නේ සිංහලයන් ඉතා කඩිසර ජාතියක් බවය. ඔහු ඒ බව පවසන්නේ මෙලෙස ය.
”කඩිසර වූ සිංහල මනුෂ්‍යයෝ, නිදි අවදි දෙකට මැද වහ වහා පුබුදින මඳ නිදි ඇති තැනැත්තෝ ය.”
”මඳ නිදි ගති” ඇතත් සිංහලයාගේ කඩිසරකමට ඔහු කැමැතිය. යකඩ කර්මාන්තයට හැර අනෙක් හැම කර්මාන්තයක් ගැන ම එක සේ දස්කම් පෑමට සිංහලයෝ සමර්ථයෝ ය.
”ඔවුන් හට අවශ්‍ය වූ සියල්ලක් ම ඔව්හු තනා ගනිති” යැයි පවසන නොක්ස් පුදුම වන්නේ තමන්ගේ නිවෙස් තමන්ම තනා ගන්නා සැටි දුටු විටය. සිංහලයාගේ “කඩිසරකම” ගැන මෙන්ම සිංහලයාගේ කම්මැලිකම ගැන ලියන්නටත් නොක්ස් අමතක නොකළේ ය.. සියලු කර්මාන්තයන් ගැන දක්ෂකම් ඇතත් එහි දියුණුව උදෙසා උද්යෝගයෙන් කටයුතු නොකරන බැවින් ඒවායෙහි සමෘද්ධිය කරා එළැඹීමට සිංහලයාට හැකියාව ලැබී නැත.
”එහෙත් සිංහලයා ස්වභාවයෙන් ම කම්මැලි ජාතියක්. යම්තම් ඔහේ උපන්නාට වැනෙනවා විනා වැඩ කිරීමට නම් ඔවුහු එතරම් රුචියක් නොදක්වති.”
සිංහලයා කම්මැලියා ලෙස දකින්නේ නොක්ස් පමණක් නොවේ. බ්‍රිතාන්‍ය යුගයේ එනම්, වර්ෂ 1799 සිට 1804 දක්වා කාලය ඇතුළත මෙහි විසූ ජේම්ස් කෝඩිනර් දේවගැතිවරයා ද ලංකාව ගැන ඔහු ලියූ කෘතියේ සිංහලයන් ගැන තැබූ ඇතැම් සටහනක් සිංහලයා කම්මැලියකු ලෙස හඳුන්වා දෙයි.
ඔහු විශේෂයෙන් සිංහලයන් ගැන ලියන්නට වෙන් කරගත් පරිච්ඡේදයේ සිංහලයා කෙබඳුදැයි යන්න හඳුන්වා දෙන මුල්ම ඡේදයේ දී ම සිංහලයාගේ කම්මැලිකම ගැන කතාකරයි.
”දුගී, අහිංසක, යුදකාමී නොවන, අලස මිනිස් කොට්ඨාසයක් වන සිංහලයන්ගේ චරිත ලක්ෂණ අතරින් උපේක්ෂා සහගත සන්සුන් බවත්, කුළෑටි, බයාදු ගතියත් අවනත වන ස්වභාවයත් ඉස්මතු වී පෙනෙයි....” (ලංකාව ගැන වර්ණනාවක් – පරිවර්තනය – නිස්සංක පෙරේරා)
සිංහලයාගේ අලසකම ඇතුළු විවිධ අඩුපාඩු කෝඩිනර් දේවගැතිවරයා එලෙස දකිතත් ඊළඟට ඔහු වනන්නේ සිංහලයාගේ ගුණදම් ගැනය. ඔහු අප දකින්නේ, අතිශයින් ම ශිෂ්ට ගතිගුණ ඇති, සිරිත් විරිත් ගරු කරන මිනිස් වර්ගයක් ලෙස ය. සිංහලයාගේ ආගන්තුක සත්කාරය ඇදහිය නොහැකි තරමට ශිෂ්ට වූ බව ඔහුගේ අදහසය.
සිංහලයාගේ මේ අලසකම ගැන පවසන නොක්ස් ඊට බලපෑ හේතු සාධක ගැන ද විවරණයක් කරනුයේ ඉතා බුද්ධිමත් ලෙසය. සිංහලයා හේතු විරහිතව නිකමෙකු, කම්මැලියකු කිරීම යුක්තිසහගත නොවන වග නොක්ස් පැහැදිලි කරන්නේ විචක්ෂණශීලී පර්යේෂකයකු ලෙසය.

මේ සිදුවීම් සිංහලයාගේ අලසකම හා, නොක්ස් සෘජු ලෙස සම්බන්ධ කරන්නේ ද, එය සාධාරණීය කරන්නේ ද මෙලෙසය.
”මේ කරුණෙහි දී රටවැසියන්ගේ නිර්දෝෂත්වයට සාධකයක් වශයෙන් මට දැක්විය හැකි එක් කරුණක් ඇත. එනම්, ඔවුන් වැඩවසම් ක්‍රමයේ රදල බලයට යට වූ යටත් වැසියන් වී සිටින බවය. ඔවුන්ගේ ඉඩම් හා කර්මාන්ත දියුණු කළහොත් අයබදු වැඩි කිරීමට රජය සැරසී සිටී. මේ හේතුකොටගෙන ඔව්හු ස්වකීය ශක්තිය ඇති පමණින්වත් වැඩ කටයුතු කිරීමට පසුබට වෙති. ඔවුන්ගේ හස්ත කර්මාන්තාදිය හෝ වෙළහෙළඳාම් ආදිය හෝ දියුණු කර ගැනීමට රජයෙන් දෙනු ලබන ආධාරයක් අනුබලයක් හෝ ධෛර්යයක් කොහෙත්ම නැත්තේය.”
කෝඩිනර් සිංහලයන් කෙරෙහි දකින යහපත් ගතිගුණ ඊට පෙර දුටුවේ නොක්ස් ය. එහෙත් ඔහු ඔවුන්ගේ ගතිගුණ දුටු එක් විදියක් විය.
එනම් උඩරැටියන් හා පහතරැටියන් ලෙස බෙදා වෙන්කර ගනිමිනි. ඔහු පවසන්නේ මේ දෙපිරිසගේ ගතිගුණ හා ස්වභාවයන් ඔවුනොවුන්ට වෙනස් බවය.
”... තැනිබිම (පහතරට?) වාසය කරන්නෝ දයානුකම්පාවෙන් හා පරෝපකාරයෙන් ඔප් නැංවුණු මෘදු ගුණ ඇති අවංක මනුෂ්‍යයෝය. ඔවුන්ගේ අතිථි සත්කාර ගුණය අතිශයින් උත්තරීතර බව අපට ප්‍රත්‍යක්ෂයෙන් ම කිව හැක්කේ ය. උඩරට වාසය කරන්නවුන් හට වඩා ආචාරශීලී හා සභ්‍යශීලී පුද්ගලයන් බව කතාවට කියතත් ඔව්හු නොමනා ගති පැවතුම් ඇති වංක වූ වැඩකට නැති තැනැත්තෝ ය.
සිංහලයෝ විවිධ කාරණා සම්බන්ධයෙන් දක්ෂයන් කරන සුද්දෝ, සිංහලයා හතරවැනි සිල්පදය කැඩීමෙහිලා ද ශූරයන් කරති. මොන යහපත් ගතිගුණය තිබුණ ද සිංහලයන් වනාහි, ප්‍රයෝගයෙහි දක්ෂ වංචක පුද්ගලයන් බව ද පැවසේ. ඒ බව නොක්ස් පවසන අයුරු මේ ය.
”යමක් පමණ ඉක්මවා සහතික කොට කියුවහොත් එය බොරුවක් බව දැනගත යුතුය. මේ ජනතාවගේ ගති සිරිත් නොදත් නුපුරුදු කවුරුන් නමුත් ඉතා පහසුවෙන් මුලාවන තරමට ඔවුන්ගේ කතාව මිහිරිය. මෘදුය. කාරුණිකය. එසේ වුව ද ඔව්හු ඇඟට පතට නොදැනී බොරු කියති. හරියන බොරුවලට වඩා වරදින බොරු කීමෙහි ඔව්හු සමත් ය. ඔවුන්ගේ බොරුව නිතරම හෙළිදරව් වන්නේ ය”.....
මේ බොරු කෙතරම් හෙළිදරව් වුවද සිංහලයා නොවේ කෙදිනකවත් නින්දාවට පත්වූයේ. එමෙන්ම සිංහලයාගේ පොරොන්දු ඉක්මනින් ම කඩවූයේ බොරු කියන නිසා ම ය. එහෙත් තමා කොතරම් බොරු කීව ද අනෙකාගේ බොරු කීම සිංහලයෝ නොරිස්සූහ. මේ බොරු කීම ගැන ජර්මන් ජාතික මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් ද අපූරු සටහන් තබා ඇත.
ඔහු ඒ සටහන තබා ඇත්තේ ඔහුට මෙහිදී හමුවූ ඔහුගේ මුල්ම සිංහල සේවකයා ගැන ලියන්නට යෑමේදී ය. “වාසනාවන්ත සීයා” යැයි ඔහු විසින් හඳුන්වා දුන් ඔහුගේ සේවකයා ඉතා නැණවත් හා වැඩෙහි ඉතා දක්ෂ වූවෙකු බව ද ගයිගර් පවසයි. එහෙත් මේ සීයා සතු එකම අවාසනාව වෙලාවට වැඩ නොකිරීමය. ඒ නිසාම ඔහු අතින් මඟහැරෙන වැඩ සම්බන්ධයෙන් කරනු ලබන නිදහසට කරුණු දැක්වීම් දිගින් දිගටම කෙරෙන්නේ ‘බොරුවෙන්’ ම ය.
”... බොරු කීමට ද ඔහු රුසියෙක් විය. වරක් මට ඇත්ත පෙනි පෙනීත් කළ එවැනි බොරුවක් නිසා මා කෙවිටක් රැගෙන නිවස වටේටම ඔහු ලුහුබැඳ ගියෙමි.”...
බොරු කීම සිංහලයාගේ පුරුද්දක් බව මේ විස්තරයෙන් තවදුරටත් ඔප්පු වෙන අතර ඉන් කියැවෙන තවත් යමක් ඇත. ඒ චෝදනාව අප අදටත් අපටම කර ගනිමින් සිටින චෝදනාවකි. එනම් වෙලාවට වැඩ නොකිරිමය. සිංහලයා සතු ප්‍රධාන දුර්වලකමක් වන වෙලාවට වැඩ නොකිරීම ගැන හිටපු ජනපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද බෙහෙවින් ප්‍රසිද්ධියට පත්ව සිටියාය.
කෙසේ වෙතත් බොරු කීම සිංහලයා සතු හෝ සිංහලයාටම ආවේණික ගතියක් බව කිව නොහැක්කේ සුද්දාගේ ධර්මයේ ද බොරුව තහනම් කර ඇති බැවිනි. සුද්දෝ බහුතරයක් අදහන කිතු දහමේ ද දෙවියන් විසින් මෝසෙස්ට දුන් දස පනතින් එකක් බොරුකීම හා සබැඳිය. “බොරු සාක්ෂි නොකියව“ යන්න දස පනතේ එක් පනතකි. සුද්දාට මෙන්ම සිංහලයාට ද ඉන් බේරීමට නොහැකි විය. සිංහලයන් බහුතරයක අදහන බුදු දහමේ සිල් පදවලින් එකක් වන්නේ “මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාධියාමි” යන්නය.
සිංහල දරුවන් වෙනුවෙන් ලියැවුණු ‘සිරිත් මල්දම’ අපට එකල කටපාඩම් කරන්නට වැඩිහිටියෝ වෙහෙසුණහ. එහිද මුසාව ගැන තිබුණ අපූරු කවියකි.
”බොරුකීම කැතමය
ගැරඩි කුණටත් නොසමය”
ඇත්තනම් කදිමය
මෙලොව රජ සැපතටත් උතුමය.